23.12.13

වලහාගේ කතාව සහ පෙත්තාගේ තවත් කතා...

පැතුම් යනු දඟයාගේ බොක්කේ යහලුවෙකි.පැතුම් යහලුවන් අතර ප්‍රසිද්ද පෙත්තා කියාය.
පෙත්තා නයි නැටවීමට,නයි ඇරිමට උපන් සමතෙකි.අනුරාදපුරයෙන් කොලඹ රටට ගෙවල් මාරු කර ගෙන්දගම් පොලවේ පස් පෑගුවේ ඉතාම මෑතකදී වුවද,අනුරාදපුරයේ ගොයියන්ට දෙසූ කෙබර කතා කිසිදු බයකින් තොරවම කොලඹ කාක්කන්ටද දෙසීමට පෙත්තා හපනෙකි.
පෙත්තා වෘර්තියෙන් පලපුරුදු ඩොකෙකි.නමුත් දෙසාබානා බොරු බේගල් ඇසු විට,පෙත්තා ඇත්තටම ඩොකෙක්දැයි කාහටත් සැකයක් උපදී.

පෙත්තා මෑතකදී ඩොකාලාගේ සමුලුවකට ඉන්දියාවට ගියේය.එම අනුහසින් පෙත්තාගේ පචමල්ලට තව තවත් පචකතා එකතු විය.
"දඟයා ...උබ දන්නවාද ඉන්දියාවේ ඉන්න එව්වො වාහන  එලවන් යනකොට බැරි වෙලා හරි රතු සිග්නල් ලයිට් එක වැටුනොත් මොකද කොරන්නේ කියලා..." පෙත්තා ඉන්දියාවේ ඉන්නා එව්වොත් උත්තර නොදන්නා පුරස්නයකින් කතාව පටන් ගනී.
දඟයා අහස පොලොව ගැටලන් පෙත්තාගේ හරුපය තෝරන්නට ට්‍රයි කොරයි.
"අඩෝ..උන්ට පයිත්තියන් මචන්...සිග්නල් ලයිට්වල රතු ලයිට් වැටුනාම උන් කොලපාට වැටෙනකන් හෝන් ගහනවා..."  දත් විසිනමයම පෙන්නමින් පෙත්තා එසේ කියා මහ සද්දෙන් සිනාසෙයි.:P (පෙත්තාගේ ඉදිරිපස දත් තුනක් නැත)


පෙත්තා ගමේ සිදු වු රස කතාද කියනුයේ තව තවත් ලුනු ඇඹුල්ද දමාය.
"මචන්ලා..ඒ දවස්වල මම ඒ ලෙවල් කොරලා ගෙදර ඉන්නවා.සාලියපුර කෑම්ප් එකේ හිටපු වලහෙක් කෑම්ප් එකෙන් පැනලා.අපේ හන්දියේ ගෙවල්වල මිනිස්සු ඔක්කෝම බය වෙලා.ගෙවල්වල දොරවල් වහගෙන...."
පෙත්තා කතාව එක හුස්මට කියවාගෙන යයි.
"මචන් රෑ දෙකට විතර ඇති.මාව ඇහැරලා අම්මා සිද්දිය කියනකොට.
මම මචන් ගත්තා දෙකේ දෙකේ පොල්ලක්.බැදගත්තා ඒක බයිසිකල් එකේ.ගියා මචන් හන්දියට.ගත්තා මචන්...."
"පොල්ල බයිසිකලේ බැද ගත්තාම කෝමද යකෝ වලහා පැන්නාම හදිසියේ පොල්ල ලෙහා ගන්නේ..."කතාව අසා සිටිනා එකෙකුගෙන් හරස් පුරස්නයකි. 
"අඩෝ..කියන එක ආහන්කෝ..පුරස්න නාහා..." ගසනා බේගල් අතේ පත්තු උනත් පෙත්තා කතාවනම් නවතන්නේ නැත.
"බයිසිකලේ හන්දියට ගිහින් ගත්තා මචන් ලොකු ෆැන්ටා බෝතලයක්.ෆැන්ටා බෝතලයත් අරගෙන ගියා මචන් වලහා ඉන්නවා කියන පැත්තට.
මම යනකොට වලහා ඉන්නවා මචන් දඩාර කෝන් ගහකට නැගලා.මු අව්රුදු පහලොවක විතර තඩි වලහෙක්.කොන් ගහේ කරටියටම නැගලා මූට බැහැගන්න බෑ."....පෙත්තා කතාව කියනාකාරයට අසාගෙන සිටිනා අයගේ කන් කෙලින් වී ඇත.සමහර විට මයිල්ද කෙලින්ව ඇතිව තිබෙන්නට පුලුවන.
"කෝන් ගහ වටේ මිනිස්සු පිරිලා. .මිනිස්සු ගහ වටේ ඉදගෙන වලහාට පොලුවලින්,ගල් වලින් ගහනවා...
මම හෙමින් නැග්ගා මචන් කෝන් ගහ උඩට.බලන් ඉන්න මිනිස්සු කොර වෙලා වගේ බලාන ඉන්නවා...
වලහා ඉන්න අත්තට යට අත්තේ ඉදලා වලහාට පෙන්නුවා මචන් ෆැන්ටා බෝතලය.
බෝතලෙන් ෆැන්ටා ටිකක් වලහාගේ ඇගටත් ඉස්සා මචන්...
වලහා මා දිහාම බලාගෙන ඉන්නවා..මම බැස්සා මචන් ඊලග යට අත්තට..." පෙත්තා කතාව කියවාගෙන යයි.සියලුදෙනාම පෙත්තාගේ කතාවට දපනය වැටී ඇත.
දිගු හුස්මක් ගත් පෙත්තා නැවතත් එකදිගටම කතාව කියවාගෙන යයි.


"වලස්සුන්ට මචන් මී පැනි,ෆැන්ටා වගේ පැනි රහ දේවල් පෙන්නන්න බෑ.මගෙ අතේ තියෙන ෆැන්ටා බෝතලය දැක්ක ගමන් වලහා ෆැන්ටා බෝතලය පස්සෙන් මම කලින් හිටිය අත්තට ආවා.ඇවිල්ලා මගේ දිහා බලාන ඉන්නවා....
මම ආයි වලහාට ෆැන්ටා බෝතලය පෙන්නලා ඌව කුලප්පු කොරලා බැස්සා යට අත්තට...වලහාත් මම කලින් හිටි අත්තට බැස්සා...
ඔහොම ඔහොම මචන් අත්තෙන් අත්තට බැහැ බැහැ කෝම හරි මම ලෝකේ පලවෙනි වතාවට වලහෙක්ව බිමට පනින් නැතිව බිමට බැස්සුවා....."
බිමටම බැස්සාට පස්සේ තමයි මචන් වලහාට මම ෆැන්ටා උගුරක් දුන්නේ...ඊට පස්සේ ආර්මි සෙට් එක වට වෙලා වලහාව අල්ලා ගත්තා...මම වලහාව ගහෙන් බැස්සුවේ නැත්නම් ආර්මි සෙට් එක වලහා ගහෙන් බහිනකම් තාම බලා ඉන්නවා...."පෙත්තා තම කතාව අවසාන කරනුයේ තමාගේ වීර ක්‍රියාවට සන්තෝසද වෙමිනි.:P

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...