3.12.13

පොලිස් ගුටි සහ රිටන් එක දුන්න හැටි...

දඟයාට ඉස්සර පොලීසියේ මහත්වරු පෙන්නන්නට බැරිය.
කොතනත් මහත්හොරු ඉන්නා නමුත් පොලීසියේ මහත්හොරු වැඩි වෂයෙන් ඉන්නා බව දඟයා විස්වාස කොලේය.එම විස්වාසය දඟයාගේ සිතට කා වද්දපු සිදුවීම් කීපයකි.
එම සිදුවීම් දුක්බර මෙන්ම කුජීතද වන මුත්,කාලයකට පසුව මතක් කොරනා විට සිතට අමුතුම මිහිරියාවක් ගෙන දේ... :) 

කැලැන්ඩරයට අනුව අලුත් අවුරුද්දක් ලබන්නේ ජනවාරි පලමුවෙනිදාය.
සිංහලයෝ වන අපිට නම් අප්‍රේල් මාසයේදි සිංහල අවුරුද්ද ලබයි.
පාසලේ උසස්පෙල කොරනා කොල්ලොන්ට මෙන්ම සා.පේ හමාර කොල කොල්ලොන්ට ඔය කියනා අවුරුදු කාලවලට අමතරව තවත් අවුරුදු කාලයක් ඇත.
ඒ සිංහල අවුරුදු උදාවට කලින් උදාවන පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙල සහ පාසල් අතර පවත්වනු ලබන මහා කිරිකට් ගැටුම පවත්වන කාලයයි.කොල්ලෝ පාසල මග අරිමින්,කට්ටි පනිමින් ආතල් ගන්නා කාලයක් වේද ඒ මහා කිරිකට් ගැටුම පවත්වන කාලයයි.(පෙබරවාරි,මාර්තු මාස)
අවුරුද්දේ පෙබරවාරි ,මාර්තු මාසවල මතකයන් අදටත් මතක් නොකරනු ලබන කොල්ලෙකු නම් සොයා ගැනීමට බැරි බව දඟයාගේ විස්වාසයයි.(කොලු කෙල්ලො ගැන නම් මම දන් නෑ :P)
ඒ තරමටම පෙබරවාරි ,මාර්තු මාසවලදී පාසල් යන කොල්ලොන්ට ජීවිතයට පුදුමාකාර මතකයන් ප්‍රමානයක් එක් කොරනු ලබයි.
ඔය කියනා කාලය කොල්ලන්ට අවුරුදු කාලයක් යැයි දඟයා කියනුයේ ගෙදරින් ප්‍රතිපාදන නොලබන වියාපෘති සදහා ලෝක බැංකුවෙන් සල්ලි ලැබෙනා කාලය ඔය බිග් මැච් කාලය නිසාය.
ඔය කාලයේ අත් හදා බලනු ලබන වියාපෘතිද බොහොමයක් වෙයි.
*පන්තියේ ඉන්නා අහිංසක කොල්ලෙකුට ගල් අරක්කු වීදුරුවක් පෙවු විට ඇතිවන ප්‍රතික්‍රියාව කුමක්ද? ;) 
*තනිකොරම කෙල්ලෝ සිටිනා පාසල්වල,කෙල්ලෝ කරනුයේ කුමක්ද?
(එහිදී විශේෂයෙන්ම සලකා බැලනුයේ බිජට්,බිෂොප්,විශාකා,මියුසියස් වැනි පාසල්ය :wub:)
*දවසේ ආදායම රුපියල් තුන් ,හාරදාහක් වු විට,එය වියදම් කරනුයේ කෙසේද?
(ඔව්..ඔව්..බිග් මැච් කලෙක්ෂන් සල්ලි වියදන් කොරන්නේ කොහොමද කියලා තමයි.. :()

ඔය සදහා ආදාර දෙනු ලබන ලෝක බැංකු සාමාජිකයන් නම්...
 දුම්රියේ යන අහිංසක මගීන්, පාසල් බසයේ සිටිනා මල්ලිලා සහ අනෙකුත් පාසල්වල කෙලි පැටික්කියන්,කොඩියත් කරේ ලාගෙන යන විටදී මග තොටේදි හමුවනා ලස්සන අක්කලා සහ ඇන්ටිලා,විහාරමහාදෙවි පාර්ක් එකේ සිකුරිටි රාලහාමිගේ විසිල් පාරට දුව දුව  පෙම් කොරනා පෙම්වතුන්, වැල්ලවත්ත ආදී වෙරලවල් සහ වැටකෙයා ගාල්වල අතරමන් උන අහිංසක පෙම්වතුන් ආදී විශාල පිරිසකි. :P 

download.jpg

මෙයට අවුරුදු කීපයකට කලින් උදා වු  මෙවන් කාලයක (බිග් මැච් සීසන් එකක ) පැහැබර දිනෙක දඟයා ඇතුලු තවත් දග යහලුවන් දහ පහලොස් දෙනෙකුද ලෝක බැංකු සාමාජිකයන්ගේ ආදාරයන් ලබමින් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිට තව තවත් ආදාර එකතු කිරීමෙහි යෙදී සිටියා.
පාසල් නිමාවී සිසුන් දුම්රියේ නැගීම සදහා පාර මාරු වීම පිනිස මගී ගුවන් හුවමාරුව බාවිතා කොරනා නිසා දඟයා සහ තවත් පාපී සගයෙකු ස්තානගත වී සිටියේ කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිට ගුවන් මගී හුවමාරුවේ පඩිපෙලකයි.මගී ගුවන් හුවමාරුවෙන් එහා මෙහා යන මගීන්ගෙන් කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද දඟයා ඒ වන විට තම කැප් එක තුලට රුපියල් තුන්දාහකට වඩා මුදලක් එකතු කොරගෙන තිබූ බව තොප්පිය තුල තිබූ රුපියල් පනහේ සීයේ කොල ප්‍රමානයෙන් දඟයාට සිතා ගත හැකිව තිබින.

සුදු පරෙවි රෑන සේ පියා සලා,
පාසල නිම වී යොවුන් කුමරියන්,
පෙලින් පෙලට එයි.....

මෙවන් අවස්තාවක් බිග් මැච් කාලවලට හැට් කොලෙක්ෂන් දමනා කොල්ලොන්ට වඩාත් ප්‍රිය උපදවන්නාවු අවස්තාවකි.පාසල නිමවී පෙලින් පෙලට එන යොවුන් කුමරියන් ,හැට් කලෙක්ෂන් දමනා කොල්ලන්ගෙන් හැකි ඉක්මනින් බේරීමට තොප්පිය අල්ලන සැනින් මුදල් ලබා දෙයි.ලබා දෙන මුදල් ප්‍රමානයද බොහෝ විට ලබා දිය හැකි උපරිම මුදලකි.(බොහෝ විට රුපියල් පනහක්, සියයක්.අඩුම ගානේ විස්සෙ කොලයක්)

මගී ගුවන් හුවමාරුවේ අනෙක් කොනේ පඩිපෙලවල් වල හැට් කලෙක්ෂන් දමමින් සිටි පාප මිත්‍රයින් අතින් කල ඉගිකිරීමට අනුව පසුපස බැලු දඟයා හට,පාසල නිම වී,පෙලින් පෙලට එන යොයුන් කුමරියන් රොත්තක්ම දැකගන්නට වාසනාව ලැබින.
දඟයා සහ දඟයා සමග සිටි යහලුවා වඩාත්ම ප්‍රමෝදයට පත් කොරනා කාරනයක් වුයේ,එම පැමිනෙනා ගැටිස්සියෝ රොත්තද අගනුවර ඉහලම සoස්කෘතිය නියෝජනය කරනා කන්යාරාමයක ගැටිස්සියෝ රොත්තක් වීමය.දඟයාට මේ පිරිසගෙන් තොප්පියට වැටෙනා කොලවල පාටද මැවී පෙනෙන්නට විය.

දඟයාද ,පාපමිත්ත්‍රයාද මුහුනේ ඇති දහදිය ලේන්සුවෙන් පිසලා සැරසුනේ තමන් සිටිනා මගී පාලමේ පඩිපෙල හරහා දුම් රියපොල කරා ඇදෙනා යොවුන් කුමරියන්ගෙන් ලබා ගත හැකි උපරිම මුදල ඩැහැගැනීමටය.
කැප් එකක් සමග මග හරස්කොරමින් සිටිනා දඟයා සහ පාප මිතුරාව දුටු යොයුන් කුමරියන්ගේ ගමනේ වේගය බාල විය.එය දුටු පාපමිතුරා කැප් එකද දිගු කොරමින් කෙල්ලන් පැමිනෙනා ඉදිරියට යන්නට වුයේ අතට වැටුනු කෑම කටට දමා ගැනීමට ඇති හදිස්සිය නිසා වෙන්නට ඇති.

එක්වරම කෙල්ලන් අතරින් මතු වු දෙදෙනා දැක දඟයාට සුලු දිය පහ නොවුනේ එකල දඟයාගේ එඩිතරකම ඒ තරමටම ප්‍රබල වු නිසාය.
"මල හත්වලාමයි...දුවපන් යකෝ.." යැයි කෑ ගසමින් දඟයා දුවන්නට සැරසුනේ කෙල්ලන් අතරින් මතු වු පොලිස් නිලදාරීන් දැකීමෙනි.
ආපසු හැරි දුවනා දඟයාට මගී පාලමේ දුම් රිය පොල පැත්තේ කලෙක්ෂන් දමමින් සිටි මිත්තරයන්ද පොලෝසියට අසුව ඇති අන්දම දුරටම පෙනින.නැවතත් ආපසු බැලු දඟයාට දකින්නට ලැබුනේ,දඟයා සමග කලෙක්ෂන් දමමින් සිටි යහලුවාද පොලිස් ග්‍රගනයට නතුව ඇති බවකි.
පාප මිත්තරයන් තුන් දෙනෙකු පොලෝසියට අසුව ඇත.පොලෝසියේ හතර දෙනෙකි.දඟයා ඇල්ලීමට පොලෝසියේ අනෙකා දඟයා පසුපසින් එලවමින් පැමිනෙයි.
රගර් බෝලයද රැගෙන හය හත් දෙනෙකුම මග හරිමින් ජය කනුව බලා දුව ගිය දඟයාට,මේ එකෙකුට වෙට්ටුවක් දමා බේරී පලා යාම ලොකු කජ්ජක් නොවේ යැයි දඟයාට සිතින.
සිතට වීරිය හා ගතට දිරිය ගත් දඟයා ඉතාමත් පහසුවෙන් පාන් ගෙඩියක් සේ බඩ ඉදිරියට නෙරාවිත් තිබූ පොලෝසියේ රාලහාමියාව මග අරිමින් මගී හුවමාරුවේ පහලට දුවන්නට සමත් විය.
මහසෝනා දැක්කා සේ බයටද පත්ව,ලැජ්ජාවෙන් මිදීමට හැල්මේ දුව යන දඟයාව එකවරම තදබල ග්‍රහනයකට ලක්විය.
ඒවර දඟයා අසුව ඇත්තේ අප කොරනා දෙය දෙසද බලමින් රථවාහන පාලනයෙහි යෙදෙනු ට්‍රැෆික් පොලෝසියේ  අයෙකුටය.
දඟයාගේ බෙල්ලෙන් අල්ලාගෙන කලින් පැමිනි පොලෝසියේ පිරිස වෙතට පැමිනි ට්‍රැපික් පොලෝසියේ උත්තමයා පිරිස වෙත දඟයා බාර දීමට පෙර දඟයාට පහරක් ගසා එකතු කොල මුදල්ද සමගින් අතේ තිබූ කැප් තොප්පියද උදුරා ගන්නා තරමටම කාරුනික විය.(අයියෝ සල්ලි)
අනෙක් පිරිසද ගෙන්වාගෙන,අපව අල්ලාගැනීමට අමාරුව ඇතිව ඇත්තේද එම උත්තමයාට බව පසුව දැන ගන්නට ලැබින.
images+%25284%2529.jpg

සිදු වුයේ කුජීතම වැඩකි.නැවත රෙද්දක් ඇදගෙන කොටුව පැත්ත පලාතට එන්නට බැරි වනු ඇත. :blink: 
අප සමග සිටි ඉතිරි මිත්තරයන් පිරිස කෙසේ හෝ පොලොසියේ ඇස් වසා මාරුව ඇත.අප අල්ලාගෙන යන අන්දම කොහේ සිට හෝ බලා සිටියද, ඔවුන්ටද කල හැක්කක්ද නැත.
පාසලට මෙය ආරoචි වු සැනින් පාසලේදී විදිනා නව නින්ගිරාව දඟයාට මැවී පෙනේ.පාසලින් මෙන්ම නිවසින්ද දඟයාව එලවා දමනු ඇත.එයට පෙර මේ මරාලයෙන් කෙසේ හෝ ගැලවී යා යුතුය.
"අනේ බුදු සෑර්....අපිව ඉක්කෝලෙන් අස් කොරලා දායි බුදු සෑර්....
සර්ලටත් මල්ලිලා,පුතාලා ඇතිනේ..අන්තිම පාරට අපිට සමාව දෙන්න බුදු සෑර්...."
පපුව පැලෙනා තරමට හදවත උනුකොරනා අදෝනාවකින්  දඟයහලුවන් සියලුදෙනාම පොලිස් මහත්වරුන්ගෙන් සමාව බජනය කොරයි. 
පොලිස් ජීප් රථය කොලඹ කොටුව,මල්වත්ත පාර හරහා පොලිස් ස්තානය වෙත යමින් පවතී.

"තොපේ මහ එවුන් මොකද කොරන්නේ?"

"අනේ සෑර් අපේ තාත්තා සී.ටි.බී එකේ..බ්ලා..බ්ලා.." වෙවුලමින් දඟ යහලුවෙකු හතරවරම් බොරුවක් ගලපයි....

පොලිස් ස්තානයට යාමට පෙර ජීප් රථය නතර කරනු ලැබින.

"බැහැපල්ලා බිමට එක එකා..."පොලිස් උත්තමයෙකුගේ විදානයකි.

දඟයා ඇතුලුව එකා එකා හෙමින් ජීප් රථයෙන් බිමට බැස්සෝය.

"තොපි ඉස්කෝලේ එනවා කියලා ඇවිදිල්ලා මෙහෙම නාඩගම් නැටුවාම හරියනවාද?
ආයි එහෙම මෙහෙව් අලුගුත්තේරු වැඩ කොරනවා දැක්කොත් දවස් දාහතරකට ඇතුලට යවනවා බලාගන්....
දුවපල්ලා දැන් පැත්ත පලාතකවත් නොයිද....."

බයටම හතර අතට දිවු මිත්තරයන් හට නැවත කල්ලියට එක් තන් වීමට සුදු වුයේ පැය ගානක් එකිනෙකා සොයමින් ඇවිදීමෙන් පසුවය.

අතේ තඹ දොයිතුවක් නැත.සියලු මුදල් පොලෝසියේ යක්ෂයින් උදුරාගෙනය.බඩ පිටේ ඇලී ඇත.බඩ ගින්නේ තරම මෙතැකැයි කීමටද බැරිය.ගෙදර යාමටද ක්‍රමයක් නැත.නැවත කලෙක්ෂන් දමනු කෙසේ වෙතත් ඒ ගැන කතා කිරීමද ලැජ්ජා සහගතය.

"අව්ලක් නෑ දඟයා පොඩ්ඩක් හිටහන්කෝ.."කියු එක් පාප මිත්තරයෙකු ත්‍රි වීල් රථ ගාලක් අස්සට ගොස් ආපසු පැමින,රුපියල් සියයේ කොල පහක් පෙන්නා.....
"ලාවට තෝසේ පාරක් දාගෙන කොච්චියේ නගිමු"යැයි කීය.
තෝසේ කන අතරවාරයේ දැනගන්නට ලැබුන පරිදි පාපමිත්තරයා ඩෙනිම් කලිසමක් ගැනීම සදහා කලෙක්ෂන් දැමූ මුදල් වලින් කොටසක් යට කලිසම අස්සේ හන්ගාගෙන ඇත. 

මිතුරා කොර ඇති පාහර වැඩයට සියලු දෙනාටම අසූ හාරදාහට මල පැන්නද,වැඩි අරෝවක් නොවුයේ සියලුම දෙනා කුසගින්නෙන් මෙන්ම මානසික විඩාවෙන්ද සිටි නිසාය. 

එසේ ඇරබි දඟයාගේ සහ පොලෝසියේ කෝන්තරය බොහෝ කාලයක්ම පැවතින.
නමුත් පොලෝසියේ උත්තමයන්ට ආපසු රිටන් එක දීමට දඟයාට වැඩි කාලයක් ගියේ නම් නැත.

දඟයාගේ පාසල සමීපයේ තිබු නිවාස ලගින් පිහිටියාවු වත්තක දඟයාගේ පාසල් මිත්තරයෙකුද වාසය කලේය.ඉද හිට දිනෙක පාසල ඇරීමට කලින් පාසලේ තාප්පයෙන් පැන යාමට දඟයාට සිද්ද උනේද ඔය කියනා වත්ත හරහායි.එම නිසා පාසලින් කලින් මාරු වෙනා බොහෝ දිනයන්හි දඟයාගේ සහකරුවා වුයේ පාසල සමීපයේ ඇති වත්තේ වාසය කල මිත්තරයායි.
දිනක් මෙලෙස පාසල් තාප්පය උඩින් අසල ඇති වත්තට පැනූ දඟයාත්,යහලුවාත් එක හැල්මේ දිවුයේ පාසලේ ශි³ නායකයන්ට අහු වේය යන බයටයි.පාසලේ ශි³ නායකයන්ට බයේ හැල්මේ දිවු දඟයාත්,යහලුවාත් ඉදිරියට පැමිනි පොලිස් නිලදාරියාව ලගට එනකම්ම දුටුවේ නැත. 
මීටර් දහයක්,පහලොවක් පමන ලගදී එක වරම පොලිස් නිලදාරියාව දැකීමෙන් දඟයාත් , දඟමිතුරාත් පත් වුනේ බොහොමත්ම අමාරු අඩියකටය....
දඟයාව නම් එම වෙලාවේ අවස්තාවේ මැටි කදක් සේ ගල් වෙලා ගියේ,බිග් මැච් කලෙක්ෂන් දැමීමට ගොස් කෑ පරිප්පුවට මාසයක් වත් ගතව නොතිබූ නිසායි. 
දඟ යහලුවා නම් පොලෝසිය සම්බන්දයෙන් දැක්වුයේ වඩාත් ආදරයක් මෙන්ම කරුනාවක්.... :P 
පොලිස් නිලදාරියා එන දෙසත් වට පිටත් බැලු දඟ යහලුවා,ඔහුගේ හිසේ පැලද සිටි අව්වට පිලිස්සී ගිය කැප් තොප්පිය අතට ගෙන,නිලදාරියා ලගට එනකොටම පාර අයිනට දුව ගොස් බිමට තියා තද කොර ගත්තේය.
අප ලගටම පැමිනි පොලිස් නිලදාරියා...
"මොනවද තමුසෙලා මේ වෙලාවේ මෙතන කොරන්නේ...ඉස්කෝලේ කට් කොලා නේද?"කියමින් දඟයාගේ සහ දඟයහලුවාගේ ඇගට කඩා පනින්නට සූදානම් වුනේය.
"අනේ රාලහාමි සිද්දිය අපි පස්සේ කියන්නම්...දැනට සබ්ද කොරන්න එපා.මෙකේ ඇතුලේ ඉන්නේ  පරවියෙක්.ගෙදර පොඩි කූඩුවක් තියෙනවා...අපි දුවලා ගිහින් කූඩුව අරගෙන එනකන් රාලහාමි මේක ටිකක් අල්ලා ගන්න.රාලහාමිට ඕනා නම් පරවියා දෙන්නම්.හැබැයි අතාරින්න නම් එපා."කියලා පොලවට තද කොරන් හිටිය කැප් එක පොලිස් නිලදාරියාට අල්ලා ගන්න දුන්නා.
පොලිස් රාලහාමිත් කැප් එක හොදට පොලවට තද කොරලා අල්ලා ගත්තා.
ඒ ක්ෂනයෙන් දඟයාත්,යහලුවාත් පොලිස් රාලහාමියාට කට් එක දාගෙන එතනින් දිරාමාර් උනා.
තවත් චාටර් වී කොහෙවත් යන නඩු දාගන්නවාට වඩා,ගෙදර යන එක සැපයි කියලා හිතුව දඟයා,යාලුවාටත් ටටා බායි කියා ගෙදර ගියා.
පහුවදා දඟයා ඉක්කෝලේ ගියත් ,දඟයාගේ යාලුවානම් ඉක්කෝලේ ඇවිත් හිටියේ නෑ.දඟයා කෝකටත් කියලා ඉක්කෝලේ ඇරිලා යාලුවා ඉන්න වත්තට ගිහිල්ලා පොඩ්ඩක් සෝදිසි කොලා යාලුවට මුකුත් කරදරයක්ද කියලා.
කිව්වත් වාගේ යාලුවාට කරදරයක් තමයි.

බටර් පරෙවියෙක්,ඊජිප්සන් පරෙවියෙක් කීවාම වත්තේ කස්ටියටත් හෙන ලොකුයි.ඉතින් වත්තේ මිනිස්සුත් පොලිස් රාලහාමි පරෙවියා අල්ලන් ඉන්නවා වට වෙලා බලාගෙන ඉදලා.
පොලෝසියේ රාලහාමි පරෙවියාව පැයකටත් වැඩි කාලයක් අල්ලන් ඉදලා.
බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන පොලිස් රාලහාමි බොහොම හිමින් කැප් තොප්පිය අතුලට අත දාලා පරෙවියාව අල්ලලා.
නයි කයිද රෝස් පාන් කීවාලු.පොලිස් රාලහාමිගේ අතින් එකයිලු බලු බෙට්ට.
කස්ටිය ඉස්සරහා එහෙම නව නින්ගිරාවක් උනාම එන කේන්තිය හිතාගන්න.
ඉතින් දඟයාගේ යාලුවා පහුවෙනිදා ඉක්කෝලේ ආවේ නැත්තේ ඇයි කියලා හිතාගන්න පුලුවන්නේ.....

ප.ලි: පසු කලෙක දඟයාද පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියට උප පොලිස් පරික්ෂකයෙකු ලෙස එකතු විය.
සියලු දෙනාම පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය කරනා පිරිසට බැන වැදුනද,ඔබගේ මනසින් ගැබුරට සිතා බලන්න.
රථ වාහන හසුරවන පොලිස් නිලදාරියෙකු කොතරම් කට්ටක් කන්නේද යනවග.
අව්වට වේලී වේලි, වැස්සට තෙමි තෙමි, දූවිල්ලෙන් පීඩා විදිමින් කොපමන කැප කිරීමක් කොරන්නේද?
පොලීසියේ අන් රාජකාරියනුත් එසේමය.
පොලීස් නිලදාරීන් වෙලාවක් කලාවක් නැතිව,රැයේ හෝ වේවා,දහවලේ හෝ වේවා රාජකාරියට කැප වෙයි.
පොලිස් රාජකාරිය ගැන හෝ නිලදාරීන් ගැන යම් කිසි අපහැදිලි තත්වයක් තිබුනේද, එය මග හැරෙත්වා...
police.jpg

දැන් නම් දඟයා පොලිස් රාජකාරියෙන් ඉවත් වෙලා .....
ඔය ඉහලින් පේන්නේ දඟයා පොලීසියේ රාජකාරි කොරන කාලේ ගත්ත පින්තූරයක්.
(කට්ට කලුයි තමයි.අව්වේම ඉදලා බොලව්... ;))

3 comments:

  1. ශික්.. වලියක් ගිහං අපේ බිග් මැච් එක නැවැත්තුවා මිට වසර කීපෙකට කලින්. :(

    ReplyDelete
  2. කතාව නියමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...