17.10.13

කිරල කැලෑව...

+
"මහත්තයාට පේනවාද අර නැවක් වගේ පාවෙන වලාකුල.අර මම කලින් පෙන්නුව මිනී ඔලුව වගේ වලාකුලට යටින්..."
විනාඩි දහයක පමන නිහඩියාව බිදිමින් සුසන්ත අයියා නැවතත් කටහඩ අවදි කල නිසා නිසා පාට පාට ලෝකයෙන් මිදී,කිරල කැලයේ බන්ටෙක උඩට මා නැවතත් පැමිනුනා.....
බොද වු ඇස් අහස දෙසට යොමු කලද,ප්‍රතිඋත්තරයක් ලබා දිමට මා කම්මැලි කමක් දැක්වුයේ,බියර් මත නිසාම නොවෙයි.මෙවන් අවස්තාවකදී මා කැමති නිශ්ෂබ්දතාවයටයි.නිශ්ෂබ්දව සරල ගීතයකට සවන්දීමටයි.

ගිනිබෝලයාව මුහුදට වැටෙනා වෙලාවට,පොල්හේන බීච් එකට පැන ඔලුව පොගනාකල් නාගෙන කිරල කැලයට රිංගා හිස බරවනතෙක් බියර් බී ,අහසේ වලාකුලු මෙන්ම කලාමැදිරියන්ගේ කලා මැදිරි එලියන් බැලීමට මා ප්‍රිය කරමි.එසේ සිටිමින්, මනෝ ලෝකයේ සැරි සරනවා මිසක,කා සමගවත් කියවීමට මා කැමති නැත.ඉදහිට පියාබන වවුලෙක්,කොකෙක් ඇරුනුකොට,කිරල කැලයේ බන්ට් දහ අටේදිම අපගේ සමාදිය බිදීමට කිසිවෙකුත් පැමිනියේද නැත.
රාත්‍රි සමාජ ශාලාවක කරටි කැඩී ඇට්ටි හැලෙනකන් බ්‍රැන්ඩි හෝ රම් බී,පිස්සුවෙන් නටනවාට වඩා,කිරල කැලයේ ඇනිකෙට්ටුවකට ගොඩව,සුසන්ත අයියා සමග, දම් පාට අහසේ වලාකුලු රටා බලමින් ගත කරනා කාලය මා හට ගතේ සිතේ සියලු පීඩාවන්ට මනා සුවයක් ගෙන දේ.
යාන්ත්‍රික ලෝකයේ ඇති පීඩාකාරි බවද,අල්පේච්ච දිවියේ ඇති නිහඩ සැනසුමද මේ කාරනාවෙන් මා හට මනාව අවබෝද වෙයි.
කොලඹ කොන්කිරිට් වනන්තරයේ ඉපදුන මා හට,වලාකුලු රටාවල ලස්සන බලන්නටත්,කලුවරේ කලාමැදිරි එලිවල ප්‍රතිබාව බැලීමටත්,නිහඩව සිටිමින් ස්වබාවික පරිසරයේ සබ්දයන් රස විදීමටත් පුරුදු කලේ සුසන්ත අයියාය.
ජැමෙයිකානුවො සින්දු කීමට බොන බීමේ සිට සුදු හම ඇත්තන් සීතල නැතිවීමට බොන පානය දක්වා පානයන් බොහොමයක් ජීවිතයේ පලමු වරට අත්හදා බැලුවේද,සුසන්ත අයියා සමග කිරල කැලයේදීය.

සුසන්ත අයියාගේ හමුවිමද මහා පුදුමාකාර අහම්බයකි.
වෙලද කලමනාකරුවෙකු ලෙස සෑම දීපන්කරයකම ගැවසීමට හුරුව සිටි මා අතින්,මෙයට කාලයකට පෙරදී මාතර නගරයේදි මෝටර් බයිසිකල් කරුවෙකු අනතුරකට පත් විය.
කල වරද තේරුම් ගත් මා,තුවාලකරුව මාතර රෝහලටද ඇතුලත් කර මාගේ දුරකතන අංකයද ලබා දුන්නේ,මාගෙන් සිදු වූ වරදට ඔහුට සහනයක් ලබා දීමේ අරමුනෙනි.
හවස් වන විට තුවාලකරුගේ ඥාතියෙකු මා හට දුරකතනයෙන් ඇමතූ අතර වන්දියක් ලෙසට රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලීය.
සිදුවුන වැරැද්ද නිවරැදි කලයුතුමුත් එයට එවන් වන්දි මුදලක් අයකරගැනීම ඉතාම අසාදාරනයකි.
මා එම මුදල ලබා දීමට මැලි වු අවස්තාවේ,ඔහු දකුනේ ප්‍රසිද්ද පාතාලයෙකුගේ සහෝදරයෙක් බවත්,එම මුදල් නොදෙන්නේද මාගේ ජීවිතය සන්බන්දයෙන් ගැටලුවකට ලක්වන බවත් පැවසීය.
මුලු සිරිලංකාවේම අස්සක් මුල්ලක් නෑර බල්ටි ගසා තිබුනද මා යම් තැතිගැන්මකට ලක් වුයේ එම පාතාල කෙරුමාගේ කෙරුම් හොදින්ම දන්නා නිසාය.
යහලු මිත්‍රාදීන් කොපමන සිටියද,ලොව කොයි ජීවියාටත් ඇතිවන මරන බය මා හට හොදින්ම දැනින.පැන යාමට කිසිදු ඉඩක් නැත්තේ මාගේ සියලුම තොරතුරු අනතුරට ලක්වු පුද්ගලයාව රෝහලට ඇතුලත් කරනා අවස්තාවේදි ලබා දී තිබූ නිසාය.මා තනිවම විසදාගත යුතු පුරස්නයක් මා වෙත පැමින ඇත.
බ්‍රැන්ඩි බාගයක්ද ගෙන පොල්හේන වෙරලට ගිය මා,කාරයේ පසුපස දොර ඇර එහි හිදගෙන මුහුදු සුලං විදිමින්, සෙමින් බ්‍රැන්ඩි බාගය හිස් කරන්නට වීමි.
පුද්ගලයෙක් පැමින මාගේ අතේ තිබූ සිගරට්ටුවෙන් ,ඔහුගේ සිගරට්ටුව දල්වා ගත්තේය.
"මහත්තයා මෙතන බොන්න දෙන් නෑ.පොලිසියෙන් ආවොත් ප්‍රස්නයක් වෙයි"අමුත්තා එසේ කීවේ මාගේ හොදට බව මා හට වැටහින.
"තැන්ක් යු" කියමින් මා තවත් සිගරට්ටුවක් පත්තු කරන්නට විය.මුහුදු සුලග නිසා සිගරට්ටුව ඉක්මනින් දියව යයි.තදින් සිගරට් උගුරක් පපුවට පුරවාගත්තද දුන් ගුලි රටාවකට පිට කිරීම අපහසුය.සුලග නිසා දුම්ගුලි රටාවන් මැකීයයි.
"මහත්තයා තනියමද ආවේ...මම බලාන හිටියේ ටික වෙලාවක ඉදලා.මුකුත් අවුලක්ද?"
අමුත්තාටද මා ගැටලුවකට මැදිව ඇති බව දැනී ඇත.
මා කිසිවක් කීමට ගියේ නැත.
සිගරට්ටුව උරමින් මා දෙස ටික වෙලාවක් බලා සිටි අමුත්තා "මම එහෙනම් යන්නම් මහත්තයා" කියමින් ආපසු යන්නට විය.
ඈතට පියමනිනා අමුත්තාට අත්පුඩි ගසා කතා කලෙමි.
"ගන්න සිගරට් එකක්" සිගරට් පැකට්ටුව ඔහු වෙත දික් කලෙමි.
"ඕනා නෑ මහත්තයා" අමුත්තාද අමුතු සතෙකි.
"මහත්තයා මාතර නෙවේනේ.....මගේ නම සුසන්ත.තනියම මෙතන හිටි නිසයි කතා කලේ...උදව්වක් ඕනා නම් කියන්න"
නිශ්ෂබ්දව අමුත්තාගේ මුහුන දෙස ටික වෙලාවක් බලා සිටි මම මාගේ ප්‍රශ්නය ඔහු සමග බෙදා ගැනීමට තීරනය කලෙමි.
මාගේ කතාව අසා සිටි අමුත්තා...
"මහත්තයා බීලා ගිහින් ප්‍රශ්න විසදන්න බෑ....
මාත් එන්නම්....,ලෙඩාව බලන්න හෙට ඉස්පිරිතාලයට යමු..
ලෙඩාට අපි සාදාරනයක් කොරමු.මහත්තයාටත් අසාදාරනයක් නොවෙන විදිහට.
බය වෙන්න එපා...මම ප්‍රශ්නය විසදලා දෙන්නම්"
මාගේ සිතට සහනයක් දැනුනේ මා දැන් තනි නොවනා බව මසිතට හැගුනු නිසා වෙන්නට ඇත.
කියූ පරිදිම පසු දින ලෙඩාව බැලීමට රෝහලට යාමට අමුත්තා මා සමග පැමිනි අතර ,සතියකින් පමන ගැටලුව වඩාත් සාදාරන ලෙස විසදවා දුන්නේය.
කල උපකාරය හිලව් වීමට අතට රුපියල් දෙදහසක් උන්ඩිකර තැබු මා දෙස බැලූ අමුත්තා..
"මහත්තයා මම මහත්තයාට කල උදව්ව රුපියල් දෙදහාකින් මනින්න බෑ.අනික මම සල්ලි බලාන මහත්තයාට උදව් කලෙත් නෑ.ආයි කරදරයක් උනොත් මට කතා කරන්න..."කියමින් මුදල නැවත මා අතම තැබීය.
එලෙස ඇරබි සුසන්ත අයියා හා මා අතර ඇති හිතවත්කමට,වයසවත්,තත්වයවත්,මුදල්වත් කිසිදින බලපෑවේ නැත.

"මහත්තයා......"සුසන්තගේ කට හඩින් නැවතත් එක වරම  මා කල්පනා ලොවින් කිරල කැලයට පැමිනුනෙමි. 
කලුවරේ නිදහසින් දැහැනකට සම වැදී ඉන්නා මෙවන් වෙලාවක අප කතාකරනුයේ බොහොම අඩුවෙන්ය.

"මහත්තයාට ඇහෙනවාද දැන් යන ඔය  සින්දුව"

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනහීගෙන යනවා වාගේ...

ඔව්..ඔය අමරසිරි පීරිස්ගේ අලුත් සින්දුවක්...මා පැවසීය.(මෙය සිදුවුයේ 2009 වසරේදි පමනය )

"හරි හරි මහත්තයා....කාගේ උනත්...ඔය කියන්නේ අපේ හින්නි අප්පු මාමා ගැන.
ඔය අත්තුඩාවේ පාලම හදන්න කලින් මාමාගේ පාලම් පාරුවේ තමයි ඔක්කෝම මිනිස්සු එහාට මෙහාට ගියේ...දැන් මිනිස්සු පාලම් පාරුවේ යන් නෑ..පාලම තියෙන නිසා..
මිනිස්සු ගියත් නොගියත් හින්නිඅප්පු මාමා තාම පාලම් පාරුව තියාන ඉන්නවා....
අවුරුදු පනහක් විතර මිනිස්සුන්ව ගගෙන් එහා මෙහා ගෙනිච්චේ අපේ මාමා...මාමාට   දැන් වයසයි.."
කිසිම දිනකදී සුසන්ත මෙවන් උද්යෝගයකින් කතා කරනවා මා දැක තිබුනේ නැත.සුසන්ත එක දිගටම කියවාගෙන යයි.

ඒ අතරින් මට ගීතයද ඇසේ.

කවුරුවත් නෑ..කවුරුවත් නෑ..
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අදුර ගලනවා පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ..කවුරුවත් නෑ..

මා ප්‍රියකරන ගීතයක මූල බීජය ගැන සුසන්ත කියවාගෙන යයි...
ජීවිතයේ යතාර්තය ගැන ගැඹුරු පනිවිඩයක් දෙන ගීතයක් සරල කතාන්දරයකින් ගොඩ නැගී ඇති අයුරු අපූරුය.

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලේ හෙණ හඩ ඇසුනා
කිරල කැලෑවේ කුරුලු කොබෙයියන්
ගම හැරදාලා යන්න ගිහින්...

ඔය පාලම හදන්න ගත්ත දවසේ ඉදලාම හින්නි අප්පු මාමාව විනාස උනා මහත්තයා...
පාලමේ වැඩ චැක් කොරන්න ආව ඉන්ජිනේරුවෙක් මාමාගේ දුවගේ බඩට දරුවෙක් දීලා පැනලා ගියා...
ඒකාව හතර දික් බාගෙම හෙව්වත් හම්බ උනේ නෑ මහත්තයෝ..
ඒක ගැන හිතලාම නැන්දා ලෙඩ ඇදට වැටුනා...
අන්තිමට දෝනියැන්දා ඔය පාලම ලග නුග ගහේ එල්ලිලා මලා . . .

ගීතයේ සදහන් ආකාරයටම පාලම කිරල කැලෑවටද,හින්නි අප්පු මාමාගේ ජීවිතයටද විනාශය රැගෙනවිත් ඇත.

සංවර්දනය කෙනෙකුට යහපතද කෙනෙකුට අයහපතද ගෙනෙනා අයුරුනම් මහා පුදුමාකාරය.

"මේ හරියේම කවුරුහරි කෙනෙක් වෙන්න ඕනා ඔය සින්දුව ලියන්න ඇත්තේ...
යමු..යමු මහත්තයා හින්නිඅප්පු මාමාවයි පාලමයි මහත්තයාට පෙන්නන්න...."සුසන්ත පාලම් පාරුව පෙන්වීමට යාමට හැල්මේ දිවීමට සැරසේ.

කිසිම දිනෙක කිරල කැලෑවේ බන්ට් එකකින් වේලාසන නැගිට නොගිය මා මෙවේලේ හින්නි අප්පු බැලීමට යාමට තීරනය කලේ අමුතුම හැගීමක් මා සිතටද ඇතුලුව තිබු නිසාය.

1 comment:

  1. ඕවා ඔහොම තමා... කිරල කැලේ හරි බේරිලා තියන එක ගැන සතුටු වෙයන්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...